ලංකාවට පනවා තිබූ ඇමරිකානු ඩොලර් 20,000 ක දඩය ජස්වර් උමාර්ගේ මැදිහත් වීමෙන් ඩොලර් 5000 දක්වා අඩුකරගෙන

උස්බෙකිස්තානයේ පැවැත්වුන අවුරුදු 17න් පහල ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවීම
පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු ඩොලර් 20,000 ක දඩය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්ගේ මැදිහත් වීමෙන් ඩොලර් 5000 දක්වා අඩුකරගෙන ඇත.මෙසේ දඩ මුදල අඩුකිරීමේදී තමා තවමත් ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයකු ලෙස කටයුතු කිරීම මෙම සහනය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බවද ජස්වර් උමාර් පැවසීය.

ජස්වර් උමාර් ආසියානු පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවකට අනුව ආසියානු පාපන්දු සම්මේලනයේ විනය කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇත.තවද දඩ මුදලේ ඉතිරිය වූ ඩොලර් 15,000 වසර දෙකක් සදහා අත්ටුවීමටද තීරණය කර ඇත.අවුරුදු දෙකක් තුල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පාපන්දු තරග සදහා සහභාගී වීම පැහැර හැරියහොත් මෙම ඩොලර් 15,000ක් මුදල ගෙවීමට සිදුවනු ඇති බව ජස්වර් උමාර් පවසයි.

2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුනද අවසන් මොහොතේ එම සංචාරය ඇන හිටින.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබිණි මෙයට අමතරව ඉදිරි තරඟාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමටද සලකා බලමින් සිටින බව අනාවරණය විය.

දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම මූල්‍යමය දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දී තිබිණ .නමුත් තමා මැදිහත්වී ආසියානු සම්මේලනයට අභියාචනා කර එය වලක්වා ගැනීමට හැකි වූ බවත් ජස්වර් උමාර් පවසයි.

ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු අවුරුදු 17න් පහල ජාතික කණ්ඩායමට උස්බෙකිස්තානයේ පැවැත්වුනු තරඟාවලිය සඳහා සහභාගී වීමට නොහැකිවූයේ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර හටගත් මත ගැටුමයි.

අමාත්‍යාංශය විසින් පසුගිය සැප්‍තැම්බර් 23 වනිදා ක්‍රීඩා සංගම් වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත්
එයට සුදුසු විකල්පයක් ලබා නොදීමත් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියළු කටයුතු ඇනහිට තිබීම ඊට හේතුව බවට චෝදනා එල්ලවන බව ජස්වර් උමාර් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here