ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ ග්‍රාම සේවක කොට්ඨාශ 10ක වෙසෙන සිංහලයන් 238 දෙනෙකු සඳහා පමණක් නව බෞද්ධ විහාරස්ථාන 23ක් ඉදිවෙමින් පවතින බවට කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අනුව සිංහල උපාසක උපාසිකාවන් 10 දෙනෙකුට එක් විහාරයක් බැගින් ඉදි කිරීමට නියම කර ඇත. මෙය ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකු වූ බුදුන් වහන්සේට ද කරන අගෞරවයකි.
එක සිංහලයෙක් වෙසෙන ගමටත් එක් පන්සලක්..! “පුරාණ රජ මහා විහාර” බෝඩ් එක ඉස්සරහට දමාගෙන..
සිංහල ජනගහනය ඉතා අඩු ප්‍රදේශවල අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමේ පසුබිම තේරුම් ගත යුතුය. මෙය කෙතරම් විකාරරූපී ද යන්න ඕනෑම බෞද්ධයෙකුට වුව තේරුම් යා යුතුය. තෙන්නමරවාඩි ග්‍රාමසේවක කොට්ඨාශයේ “සංකමාලී” නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. කුච්චවේලි ග්‍රාමසේවක කොට්ඨාශයේ “පිච්චමල්” නමින් පන්සලක් (පන්සලේ නමින්ම කරන බොරුව තේරුම් යා යුතුය) ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ද ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. අපූරුම පන්සල හදන්නේ නිලාවේලි හි ය. නිලාවෙලි ග්‍රාම සේවක කොට්ඨාශයේ “කන්දල් කාඩු” නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ වෙසෙන්නේ සිංහල බෞද්ධයන් එක් අයෙකි. අහෝ එක් අයෙක් වෙනුවෙන් පන්සලක්..!
මේ සියළුම පන්සල් ඉදිකරන්නේ “පුරාණ රජ මහා විහාර” නම් බෝඩ් ලෑල්ලකට මුවා වී ය.
කුච්චවේලි ප්‍රදේශයේ මෙම නව විහාර ඉදිකිරීමට අවසර ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය.
වාර්ගික ආක්‍රමණයක්..
මෙය වාර්ගික ‘ආතතියේ’ ස්වරූපයක් සහ වාර්ගික ආක්‍රමණයේ මුහුණුවරක් බව පැහැදිලිය. අනෙක් අතට එය බුද්ධාගමට ද අපකීර්තියකි.
පහත දැක්වෙන සංඛ්‍යාලේඛන මත පදනම්ව ග්‍රාම සේවක වසම් 10 ක මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 09 ක් ද දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 14 ක් ද ස්ථාපිත කිරීමට නියමිතය.
කිසිදු ග්‍රාම සේවක කොට්ඨාශයක සිංහලයන් බහුතරය නොවී අතිශය සුළුතරයක් වීම විශේෂත්වයකි.
මෙය උතුරේ ජනවාර්ගික ආක්‍රමණයේ සමීපතම උදාහරණයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ පසුබිම තුළ දෙමළ කතා කරන ජනතාවට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකිද හෝ බලය බෙදා හදා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි!