කැබිනට් ඇමැති ධූර ගැන ජනාධිපතිවරයා හා පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අතර තීරණාත්මක සාකච්ජාවක්! බන්දුලට සාකච්ජාවෙන් නැගිට යන්නත් කියලා! EXCLUSIVE

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අතර අද දහවල් කැබිනට් අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

ඒ, අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

මෙම සාකච්ජාව ‌සදහා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වන එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන ඇතුලු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහභාගීව සිට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සාකච්ජාව සදහා මෙම පිරිස පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේදී එහි අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා සමග සාකච්ජාවක නිරතව සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නොමැතිව තමන්ට ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ යුතු බවකි.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගේ කාමරයෙන් පිටව යාමට කටයුතු කොට ඇත.

පසුව ආරම්භ වූ සාකච්ජාවේදී එස්. බී. දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි කැපවීමක් කළ බවත්, එසේ තිබියදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධූර ලබා නොදෙන්නේ කවර කරුණක් නිසාද යන්නත්ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සජබ මන්ත්‍රීවරුන් පස් දෙනකු කැබිනට් මණ්ඩලයට එක්වීමට සූදානමින් සිටින නිසා කැබිනට් මණ්ඩලය පත්කිරීම කල් ගිය බවකි.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කොට ඇති පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කිසිදු සජබ මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක් නොවන බව කැට තියා කිව හැකි බවත්, ජනාධිපතිවරයාගේ කල් මැරිල්ල හේතුවෙන් එම අවස්ථාව මේ වනවිට අහිමිව ගොස් ඇති බවත්ය.

ඒ අනුව වහාම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස මෙහිදී දිසානායක මහතා ඇතුලු පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.

එමෙන්ම වත්මන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් සම්බබන්ධයෙන් යම් විවේචනයක් ඉදිරිපත් කොට ඇති මෙම පිරිස ජනාධිපතිවරයා ඔවුන්ගේ අදස්වලට අනුව කටයුතු කරන බවද සදහන් කොට ඇත.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම පිරිසද පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවත්, ඔවුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අය බවත්, එම තාවකාලික කැබිනට් මණ්ඩලය තමන් ඉදිරියට රැගෙන ගිය බවත්ය.

ජනාධිපිතවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ එසේ නම් වහාම මෙම තාවකාලික කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ස්ථාවර කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලෙසය.

තවදුරටත් කල් මරමින් නොසිට වහාම මෙය සිදු කරන ලෙසද මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාද අවසානයේ ඊට යම් එකගතාවක් පළ කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

කෙසේවෙතත් මෙම සාකච්ජාවෙන් පසුව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම මේ පිළිබදව වැඩිදුරටත් මවන්ත්‍රී කණ්ඩායම සමග දීර්ඝව සාකච්ජා කිරීමටත් තීන්දු කර ඇති බවද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here