විරෝධතා දෙකට පහරදුන්නේ ජොන්ස්ටන්ගේ කතාවෙන් ඇතිවූ උද්දාමයෙන් බව කියන අය මේ ටික කියවන්න.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ජනාධිපති මන්දිරය ඉදිරිපිට කරවන විරෝධතා දෙකට පසුගිය 09 වෙනි දින අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පහරදුන්නේ ජොන්ස්ටන්ගේ කතාවෙන් ඇතිවූ උද්දාමයෙන් බව කියන අය මේ ටික කියවන්න.

ජොන්ස්ටන්ගේ කතා කවදත් අසන්නන් හා පාක්ෂිකයින් උද්දාමයට පත් කරන බව අමුතුවෙන් කිවයුතු නැත.

නමුත්, මෙම සිද්ධි මාලාවට මූලික වූ හේතුව බොහෝ දෙනාට අවබෝධ වී නැත. අවබෝධ වූවෝ එසේ නොවූවා සේ සිටිති. එය යටපත් කිරීමටද කටයුතු කරති.

මෙම සිද්ධියට හේතු භූත වූ කරුණු පසුගිය මාස දෙක තුනක කාලයට එබී බලනවිට හොදින් අවබෝධ වේ.

මහින්ද රාජපක්ෂ යනු කවුරු අකමැති වුනත් කවුරු දකින්නට අසන්නට අකමැති වුනත් මේ රටේ සැළකිය යුතු ජනතාවකගේ හදවතේ ලැගුම්ගත් නායකයායි. එවැනි ආදරයක් ලබන්නට මේ රටේ මෙතෙක් බිහිවූ කිසිම නායෙකයෙකුට හැකිවී නැත. දුගී පැලේ මෙන්ම මහ මැදුරේද හදවත් වල මහින්ද සිටී. මේ තත්වය නොරුස්සන පිරිස් එය වෙනස් කරන්නට අවස්ථා ගණනාවක උත්සහ කළත් නොහැකි විය. 2015 දී ප්‍රයෝගකාරීව මහින්ද ගෙදර යැවීමට මේ සෑම පිරිසක්ම ඒකරාශී වූහ. එය සාර්ථක විය. එහෙත්, ජන හදවත් තුල සිටි නායකයාට එම හදවත් තුල තිබුණු ඉඩ එසේම විය. දිනකට දහස් ගණනක් මහින්ද බලන්න තංගල්ලට ගියහ. ඒ ඔය කියන විදිහට අරක්කු කාලට බත් පැකට් එකට නොවන බව මහින්ද එළවන්නට ක්‍රියාකල අයද දනිති.

මහින්ද එන තැනකට ගොස් ඔහුව අතගාන්නට මිනිසුන්ට අවශ්‍යය. තම ඇස් දෙක වන් කුඩා දරුවා මහින්දගේ සුරතේ තැබීමට මිනිස්සුන්ට අවශ්‍යය.

මහින්ද යනු ඔවුන්ට රටක් නොව ලෝකයකි.

මෙම තත්වය මහින්දට විරුද්ධ සියළු දෙනාට හිසරදයකි. ඔවුන් නැවතත් 2015 දියත් කළ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරන්නට වූහ. එහෙත් මෙවර වඩාත් සූක්ෂම ආකාරයටය. රටට එරෙහි සියළු දෙනාගේ ආධාරය උපකාරය මේ සදහා යොදාගන්නට ඔවුහු සැළසුම් කළහ.

ගාළුමුවදොර අටවාගත් ගුබ්බෑයමේ සිට මෙහෙයුම දියත් කරන්නට විය.

මහින්ද නාකි මයිනා, මහින්ද මිනීමරුවා, මහින්ද හොරා, දරුවන්ගේ අනාගතය විනාශ කළා යැයි මතුරන්නට ගුබ්බෑයමේ පිරිස කටයුතු කරන්නට වූහ. අවස්ථාවාදී මාධ්‍ය මෙය පැයෙන් පැයට රූපවාහිනියෙන් පෙන්වන්නට වූහ. ගෝටාගෝගම, මයිනා ගෝගම යැයි එම මාධ්‍ය පැයෙන් පැය සහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශවල කියවන්නට වූහ.

මෙම තත්වය මහින්දට ආදරේ කරන මිනිසුන්ට ඉවසුම් නොදෙන්නක් විය. තමන් පන මෙන් ආදරය කරන නායකයාට කරන මෙම අපහාසයන් හේතුවෙන් ඔවුන් කුපිත වූහ. එහෙත් කළ හැකි දෙයක් නොවීය. ඔවුහු ඉවසා දරාගෙන සිටියහ. ඒ හැරුනුවිට රටට අහිතකර සියළු දේ ඒ ගුබ්බෑයම් වල දියත් කෙරිණ. බෞද්ධකමට පහර එල්ල කරමින් අවස්ථාවාදී අන්‍යාගමික පිරිස් එහි රජකරන්නට වූහ. මේ සියළු කාරණා මහින්දට රටට ආදරේ කරන මිනිසුන්ගේ ඉවසීම ඉක්මවා යන්නට හේතුවිය.

අවසානයේ ඉල්ලා අස්වෙන තැනට මහින්දව හේත්තු කරන්නට මෙම අවස්ථාවාදීන් සමත් වූහ. එදා මහින්ද බලන්නට පැමිණි ජනතාව අරලියගහ මන්දිරයට පැමිණියේ ඉහත සියළු දේ සිත්තුල තබාගෙනය. ජොන්ස්ටන්ට හෝ වෙනත් කිසිවෙකුට කතාවක් කර ප්‍රකෝප කරන්නට තරම් දෙයක් තිබුණේ නැත. මාස ගණනාවක සිට අර ගුබ්බෑයම් වල ලගින පිරිස් සහ අවස්ථාවාදී දේශපාලන නායකයින් විසින් මෙම ජනතාව ඕල්‍ රෙඩි ප්‍රකෝප කර තිබිණ. එදා සිදුවූයේ එය පුපුරා යාම පමණි.

ඇත්තෙන්ම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව ප්‍රකෝප කළ, තවමත් රාජ්‍ය අනුග්‍රහයද ලබමින් ජනතාව ප්‍රකෝප කරමින් ඔය ගුබ්බෑයම් වල ලැග සිටින වනචාරී පිරිස නොවේද ?

මෙම කුමන්ත්‍රණකාරීන් බූවල්ලන් මෙන් සෑම ක්ෂේත්‍රයක්ම වෙලාගෙන සිටිති. පසුගිය දිනවල සාමාන්‍ය ජනතාවට ඇදිරිනීතිය ක්‍රියාත්මක විය. එහෙත් පැය විසිහතර පුරා ගාළුමුවදොර ගුබ්බෑයම් වල ලගින පිරිසට ඇදිරිනීතිය නැත. රටේ නීතිය සැමටම එකමද ?

අවසන් වශයෙන් තවත් නොකියාම බැරි දෙයක් ඇත. රජයෙන් යැපෙන සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඒකක මර නින්දේ පසුවන පසුබිමක අවස්ථාවාදීන් සියල්ල රිසිසේ කරගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here