කාදිනල්ට හා ඕමල්පේ සෝභිතට අගමැතිකම දෙන්න ඕනෙ පාඨලීටද සාලිය පීරිස්ටද

නව ආණ්ඩුව පිහිටුවා ගැනීමේ මූලික සැලසුම් බරපතල අර්බුදයකට පත් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම සඳහා ආරාධනා කරන පිරිස් එම තනතුරු භාර නොගැනීම බව වාර්තා වේ.
මේ පිහිටුවන්නට යන ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් නැති බවත්, මේ ආණ්ඩුව අන්තර්වාර ආණ්ඩුවක් ද, නැද්ද, මේ ආණ්ඩුව වලංගු කාලසීමාව කුමක් ද, මහ මැතිවරණයකට යන්නේ කවදාද යන්න සම්බන්ධව කිසිම අදහසක් නැති එවැනි තත්ත්වයක් තුළ එකඟවන්නේ කුමකට ද යන්න සම්බන්ධව අදහසක් නැති බවත් විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට පිහිටුවන නව ආණ්ඩුවට කිසිම සහයෝගයක් නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.

සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ කිසිම තනතුරක් භාර නොගන්නා බව කියයි.

ජාතික ජන බලවේගය නව ආණ්ඩුව තියුණු ලෙස විවේචනය කරන අතර එහි නායක අනුර කුමාර දිසානායක කියන්නේ දේශපාලන වලංගු භාවයක් නැති හිස් කඳන් දෙකක් මන්දිර කුමන්ත්‍රණයකින් කරන මේ ආණ්ඩු පිහිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. එමෙන්ම ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ උඩින් රනිල් සිටින මුත් යටින් සිටින්නේ බැසිල් බවය.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන් ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින නුසුදුම පුද්ගලයා යැයි කියයි. මේ තීන්දුවට එරෙහිව ජනාධිපතිවරයාට විරෝධය පල කිරීමේ යෝජනාවක් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුව හා එක් වීමට කටයුතු නොකරන බව පවසන්නේ ඔවුන් සතුව නිශ්චිත වැඩ පිළිවෙළක් නැති බව පෙන්වා දෙමිනි.

මේ අතර එකසත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ මේ දැන් ඇති වී තිබෙන අර්බුදයට මූලිකම හේතුව කාදිනල්තුමන් විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට එරෙහිව මතු කළ විරෝධය බවය.

ඔහුට අනුව රනිල් වික්‍රමසිංහට මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම කළ පිරිස් සිටියත් එම වගකීම භාර ගැනීම සඳහා ඔහු පෙළඹවූ ප්‍රධානම සාධකය වී ඇත්තේ පසුගිය 11 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසකගෙන් ලැබුණු යෝජනාවය.

සජිත් ප්‍රේමදාස දිගින් දිගටම වගකිම් භාර ගැනීම කර හරින බවත් මේ හේතුවෙන් රට බරපතල අර්බුදයකට පත්වෙමින් ඇති බවත් අගමැති ධුරය භාරගන්නේ නම් තමන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ලැබෙන බවත් එම කණ්ඩායම පෙන්වා දී ඇත.

අනතුරුව මේ පිරිස රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණ පසුගිය 11 වැනිදා රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් සාකච්ඡා පවත්වා තිබේ.

මේ පිරිස අතර හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, හිරාන් වික්‍රමරත්න. හර්ෂ ද සිල්වා සිටි බව එම ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ දී රජය පිහිටුවීමේ වගකීම භාරගනු ලබන්නේ මේ පිරිසගෙන් ලද සහතියත් සමග බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය එදින රාත්‍රියේත් පසුදාත් මධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වීමත් සමගම කාදිනල් තුමා ඊට බරපතල විරෝධයක් දක්වා තිබේ. ඕමල්පේ සොබිත හිමියන් ද ඒ අනුව යමින් අදාල විරෝධතාවය ප්‍රකාශ කළහ.

මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගයේ රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සිටි මන්ත්‍රී කණ්ඩායම යළිත් ආපසු හැරුණු බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

රනිල් වික්‍රමසිංහ ඊයේ සවස අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව තහවුරු වූ පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත ලියුමක් යවමින් තමන් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව කියන්නේය.

ඉන් පසු කාදිනල් තුමා සහ සෝබිත හිමියන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බව කියන්නේය.

ජනාධිපතිවරයා රාත්‍රියේ දී සජිත් ප්‍රේමදාසට පිළිතුරු ලිපියක් යවමින් අගමැතිකම භාර ගන්න යැයි තමන් මුලින්ම ඉල්ලීම කළේ සජිත් ප්‍රේමදාසගෙන් බවත්, එය ඉල්ලා සිටි අවස්ථා කීපයකදීම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත්, දැන් තමන් අගමැතිවරයෙක් පත් කර ඇති බැවින් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සහය දෙන ලෙසත් පෙරළා දන්වා සිටින්නේය.

මේ වනවිට අරගල භූමිය රනිල්ට එරෙහි උද්ඝෝෂණ භූමියක් බවට පත් වී ඇත. අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල්ගම හැදී තිබේ.

රට බිඳ වැටෙමින් ඇත. අඩියක් පසුපසට තබා වගකීම භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රතික්ෂේපකළ විපක්ෂය, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අයෙක් ඉදිරිපත් වූ පසු ඊට එරෙහිව මතුකරන මේ විරෝධය රට තවත් අරාජික කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

දෙදිනකට පෙර මහ බැංකු අධිපතිවරයා කීවේ මේ ලෙස රටේ අරාජිකත්වය දින කීපයක් පැවතුනහොත් රට යළි ගොඩ ගත නොහැකි ප්‍රපාතයකට ඇද වැටෙන බවය.

තමන් ද තනතුරින් ඉල්ලා අස්වී තමන්ගේ වැඩක් කරගන්නවා හැර වෙන විකල්පයක් නැති බවය. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here