අන්තර්වාර පාලනය හබක්! ජනපති මැදුරේ ගාලගෝට්ටියක්! ඩලස් කුමන්ත්‍රණ කරන බවට චෝදනා! නෑ මම කුමන්ත්‍රණ කරන්නේ නෑ-ඩලස්! මම අගමැතිට අයින් වෙන්න කියලා නෑ කියන්නෙත් නෑ-ජනපති! මතගැටුම් මැද මහින්ද සාකච්ජාව අවසන් කරයි!
අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති මැදුරේ පැවැත්වුණු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වී ඇති බව වාර්තා වේ.
මෙහිදී පළමුවෙන්ම රටේ දැනට මතුව පවතින භාණ්ඩ හිගය ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව සාකච්ජා වී ඇති අතර පසුව අන්තර්වාර ආණ්ඩුව පිළිබදව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ තොට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.
ඒ සමගම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය විවේචනය කරමින් ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, ජනවරම දුන්නේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් පෙන්වා දී ඇත. එමෙන්ම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම මහතා කුමන්ත්‍රණය කරන බවට කියමින් කුට්ටිආරච්චි මහතා අලහප්පෙරුම මහතාටද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.
ඒ සමගම අදහස් ප්‍රකාශ කිරීමට නැගී සිටි අලහප්පෙරුම මහතා තමන් ශරීරයෙන් මිටි වුවද කන්දක් මෙන් ශක්තිමත් පුද්ගලයකු බවත්, තමන් අගමැතිකම ලබා ගැනීමට කුමන්ත්‍රණය නොකරන බවත් කෝපයෙන් යුතුව සදහන් කොට තිබේ.
ඉන් අනතුරුව නැවතත් කතා කොට ඇති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම ප්රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසදාගත යුතු බවත් සදහන් කොට ඇත.
අරුන්ධිකගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත්ව ඇති නාමල් රාජපක්ෂ මහතා මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමග එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බවද සදහන් කොට ඇත.
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කොට ඇත්තේ අගමැතිවරයාය. ඩලස් පිළිබද අදහස් දක්වමින් අගමැතිවරයා කියා ඇත්තේ ‘ඩලස් කියන්නේ මම එදා ඉදන්ම දන්න කෙනෙක්. එයා අපිට එහෙම කරන කෙනෙක් නෙමෙයි. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. ඒ හින්දා ඩලස් කියන්නේ පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින කෙනෙක් කියලා මම හිතන්නේ නෑ…’ යනුවෙනි.
මේ පිරිසට අමතරව අගමැතිවරයාට හිතවත් ලෙස සැලකෙන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු කණ්ඩායමක්ද අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් කිසිවිටෙක අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී නොමැති බව සදහන් කොට තිබේ
මම කොයිවෙලාවකවත් අගමැතිතුමාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා නෑ.මේ ඔක්කොටම වඩා මට මගේ සහෝදරයා ලොකුයි. ඒ නිසා 113 ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් 113 අරන් එන ඕන කෙනකුට අගමැතිකම දෙන්න මට සිද්ධ වෙනවා…’ යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී අගමැතිවරයාද පවසා ඇත්තේ තමන්ට 113ක මන්ත්‍රී බහුතරයක් ඇතැයි කියාය.
කෙසේවෙතත් මෙම ප්‍රකාශයෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට යාම හේතුවෙන් නැවත වතාවක් රැස්වීම උණුසුම් වී ඇති අතර පසුව අගමැතිවරයා මැදිහත්ව සාකච්ජාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.