දිනෙන් දින වැඩිවෙන සහල් මිල ගැන ජනතාවගෙන් මැසිවිලි

නව වසර ආරම්භයේ පැවති සහල් මිල අද වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

වසර ආරම්භයේදී රුපියල් 150ක් ව පැවති සම්බා සහල් කිලෝග්‍රෑමයක සිල්ලර මිල අද දැක්වෙන්නේ රුපියල් 180ක් ලෙසය.

රුපියල් 230ක්ව පැවති කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් අද වෙළෙඳපොළේ රුපියල් 260කට අලෙවි වේ.

රුපියල් 150කට අලෙවි වූ රතු කැකුළු කිලෝග්‍රෑමයක අද සිල්ලර මිල රුපියල් 180කි.

සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් වසර ආරම්භයේ රුපියල් 150කට අලෙවි කෙරුණද අද වන විට එම මිල රුපියල් 30කින් පමණ ඉහළ ගොස් තිබේ.

බහුතරයක් ජනතාව පරිභෝජනය කරන නාඩු සහල් කිලෝග්‍රෑමයක් වසර ආරම්භයේ රුපියල් 140ක මිලකට පැවතියත් අද එය සටහන් වන්නේ රුපියල් 175ක් ලෙසය.

මේ පිළිබඳ අදහස් දැක්වු සිල්ලර වෙළෙඳුන්,

“රු 20ක විතර වැඩිවීමක් තියෙනවා.”

“දවස ගානේ මිල වැඩිවෙනවා. මිල වැඩි වෙවි යන්නේ.”

“එන්න එන්න වැඩිවෙන තත්ත්වයක් තමා හාල් මිලේ තියෙන්නේ. අඩුවක් නෑ. ලංකා හාල් තමා ගොඩක් අය ගෙනියන්නේ. මිනිස්සුන්ට ගණන් කිව්වාහම ඒ ගණන් දරා ගන්න අමාරුයි මේ තියෙන තත්ත්වය එක්ක.”

“ලංකාවේ හාල් නෑලු. ඒකයි මිල වැඩිවෙලා තියෙන්නේ.”

“රු 15 කින් නේ වැඩිවෙලා තියෙන්නේ. ඕක මොකද්ද ? ආණුවේ අය ගසාකන විදියට රු 15 මහ ගාණක් ද? කොහොමත් කීරි 400ට විතර යනවා. කන්න පුළුවන්. සල්ලි තියෙනවා නේ මිනිස්සුන්ට. ගසා කාපුවා තියෙනවා නේ.”

ජනතාව පවසන්නේ මෙම තත්ත්වය පාලනයට බලධාරීන් වහා පියවර ගත යුතු බවය.

“බඩගින්නේ නම් මැරෙන්න බෑ. විශ්වාස කරලා ඡන්දේ දුන්නේ. එකෙක්වත් නෑ අපි ගැන බලන්න.”

“ගන්න පඩියට වඩා වියදම වැඩියි.”

“අනේ හරිම ෂෝක්. බොහෝම ස්තූතියි කියන්න ආණ්ඩුවට”

“ජනතාවට දරාගත නොහැකි ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීමට බලධාරීන් සතු විසඳුම් කුමක්දැයි අප විමසා බැලුවා.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here