ණය ගෙවන්න කැප වුණාට රට බේරගන්න කැපවෙලා නෑ – ආර්ථික විශේෂඥ මතය

ශ්‍රී ලංකාව ණය ගෙවීමට කැපවී සිටියත් රට බේරාගැනීමට කැපවී නැති බව ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය නිෂාන් ද මෙල් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ණය ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව ‘අද දෙරණ’ කළ විමසීමකදීය.

ඒ සම්බන්ධ අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයකු වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා,

“ණය ගෙවීමෙන් අර්බුදය විසදෙන්නේ නෑ. ණය ගෙවන තරමට සංචිත තවත් අඩුවෙනවා. ක්ෂණික ක්‍රියාමාර්ගය.. අපි ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කීරීමකට යන්න ඕනේ. දැම්මම පටන් ගන්න ඕනේ. ඩොලර් මිලියන 500 ගෙව්ව හැටිය රට තවත් අර්බුදයකට ළංවෙනවා. ඉක්වදෝරයට සහ ආජන්ටිනාවටත් මේ ප්‍රශ්නය තිබුණා. ඒ අය සාකච්ඡා කරලා ගොඩ ආවා. අපේ ප්‍රශ්නය තියෙන්නේ අපි ණය ගෙවීමට කැපවෙලා තියෙනවා. රට බේරගන්න කැපවෙලා නෑ. “

මේ අතර 2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ලබන ජූලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ණයවාරිකයක් ගෙවීමට නියමිතය.

ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට පසුගියදා අනතුරු ඇඟවීමක් සිදුකළේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල්  ශ්‍රේණිගතකිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමමින්ය.

2022 සහ 2023 වසරවලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතනය විශ්වාස කරන බවද ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය දෙසැම්බර් 17 වනදා නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක් ඇතුළත්ය.

ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

කෙසේවෙතත් අද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ 2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත් බවය.

එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති විදෙස් මුදල් වෙනත් මුදල් ඒකකවලට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත නියෝග කර ඇතැයි පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද මහ බැංකු අධිපතිවරයා තවත් ට්විටර් සටහනක පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here