රට විපතක: දෙන්න බැරි තඩි වැටුප් ඉල්ලන්න එපා – අධ්‍යාපන ලේකම්

රට විශාල විපතකට මුහුණ දී සිටින මොහොතක සමාජයට ඉතාමත් ගෞරවාන්විත සේවාවක් ඉටු කරන ගුරු විදුහල්පතිවරුන් 27% සිට 80% දක්වා වන දැවැන්ත වැටුප් වර්ධක ඉල්ලා සේවයෙන් ඉවත්ව සිටීම රටේ දරු පරපුරට කරන බරපතළ අපරාධයක් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දේශයට කීය.

රජයේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමද තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන මෙම අසාධාරණ වැටුප් යෝජනාව සඳහා ඔවුන් පාදක කරගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන පී.කේ.එස්. සුබෝධිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක් මගින් කරන ලද නිර්දේශයන්ය. එහෙත් එම වාර්තාව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම මෙන්ම මහා භාණ්ඩාගාරයද ප්‍රතික්ෂේප කර තිබේ.

සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා වසරකට රුපියල් කෝටි 6870ක් හෙවත් රුපියල් බිලියන 68.7ක් වැය කිරීමට සිදුවෙයි. එය මේ මොහොතේ කිසිසේත්ම ඉටුකළ නොහැකි බැවින් දැනට රජය රුපියල් 2500/-ක වැටුප් වර්ධකයක් යෝජනා කර තිබේ. එසේම ඉතිරි වැටුප් ප්‍රශ්න ඉදිරි වසර 4 තුළ විසඳීමටද ප්‍රතිඥා දී ඇත. එහෙත් ශ්‍රී ලංකා ගුරු සේවය, විදුහල්පති සේවය සහ ගුරු උපදේශක සේවයේ වෘත්තීය සංගම් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර දිගින් දිගටම ඔන්ලයින් පන්ති පවා වර්ජනය කරමින් සිටී.

ඔවුන් ඉල්ලා සිටින පරිදි වැටුප් වර්ධක ලබාදුනහොත් අ.පො.ස. උසස් පෙළ සමත් ගුරුවරයකුගේ මාසික වැටුප රුපියල් 27,740/- සිට රුපියල් 35,355/- දක්වා රුපියල් 7,615/-කින් ඉහළ යයි. එසේම ඉහළම වැටුප් තලයේ සිටින ගුරු උපදේශකවරුන්ගේ වැටුප රුපියල් 46,000 සිට රුපියල් 76,175 දක්වා රුපියල් 30,175කින් ඉහළ යයි. නමුත් දැනට මෙම ඉල්ලීම කිසිසේත්ම ඉටුකළ නොහැකි බැවින් යුක්තිසහගතව දරු පරපුර ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වර්ජකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here